නොවැම්බර් 11 වන දා පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ෆීල්ඩ් මාෂල් අසීම් ​​මුනීර් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයා අමතා ඔහුගේ සහතිකය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පකිස්ථාන සංචාරය දිගට ම කරගෙන යාමට කැමැත්ත පළ කළ බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොෂින් නක්වි පැවසීය.

ඉස්ලාමාබාද්හි සිදුවූ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට නැවත සිය රටට යාමට අවශ්‍ය වූ බවට බදාදා රාත්‍රියේ වාර්තා පළ විය.

ඉන්පසුව පකිස්ථාන සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා පැවති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට උපදෙස් දුන්නේ, ඔවුන්ගේ සංචාරය දිගට ම කරගෙන යන ලෙස ය.

ෆීල්ඩ් මාෂල් අසීම් ​​මුනීර් සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයා අතර ඇති වූ සාකච්ඡා හේතුවෙන් සංචාරක කණ්ඩායමේ ක්‍රීඩකයින් පකිස්ථාන සංචාරය දිගට ම කරගෙන යාමට තීරණය කළ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොෂින් නක්වි බදාදා (නොවැ: 12) පකිස්ථාන සෙනෙට් සභාවේදී ප්‍රකාශ කළේ ය.

පකිස්ථාන හමුදාව සහ ඉස්ලාමාබාද් පොලිසිය ශ්‍රී ලංකා කණ්ඩායමට ආරක්ෂාව සපයන බව මොෂින් නක්වි පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය අමුත්තන්ගේ තත්ත්වය ලබා දී ඇති බවත්, ඒ යටතේ ඔවුන්ට රාජ්‍ය නායකයන්ට හිමි ආරක්ෂාව ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ෆෙඩ්රල් නීති අමාත්‍ය අසාම් නසීර් තරාර් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ රජයට උපහාර දැක්වීමේ යෝජනාවක් සෙනෙට් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය ඒකමතිකව සම්මත විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කළ බවත් ත්‍රස්තවාදී ප්‍රහාරය නොතකා ක්‍රීඩා කිරීමට තීරණය කළ බවත් එම යෝජනාවේ සඳහන් වේ.