ආරක්ෂක හේතු මත පකිස්ථානයේ දැනට පැවැත්වෙන තරග සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණීමේ සූදානමක් පවතින බවට බදාදා (නොවැ: 12) මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා කියා සිටියේ, පැවති තත්ත්වය සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පකිස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ තරග සංචාරය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙන බව ය.

ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කළ ඉල්ලීම

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු උපුටා දක්වමින් නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය බවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විසින් කණ්ඩායමේ කළමනාකාරීත්වයට ඊයේ (නොවැ: 12) උදෑසන දැනුම් දී තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

මෙම තත්ත්වයත් සමග, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ක්‍රීඩකයින් සමග සම්බන්ධ වී පකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේ ම ආරක්ෂාව සහතික කිරීම සඳහා පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමග සම්බන්ධ වූ බවත්, ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති වීමට ඉඩ නොදෙන බවට සහතික වූ බවටත් දැනුම් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ, නියමිත පරිදි තරග සංචාරය අඛණ්ඩව කරගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු ම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

උපදෙස් නොතකන ක්‍රීඩකයින්ට කුමක් සිදුවෙයි ද?

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් උපදෙස් නොතකා නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින් හෝ සහයක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව ගන්නා තීරණය පිළිබඳව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

“සංචාරය දිගට ම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා, යම් ක්‍රීඩකයෙකු සංචාරයෙන් ඉවත් වුවහොත් තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහා ම ආදේශක ක්‍රීඩකයින් පකිස්ථානයට යැවීමට කටයුතු කරන,” බව එහි දැක්වේ.