වසර 13ක පාසල් ජීවිතය අවසන් වන, ජීවිතයේ ඉදිරි ගමනේ තීරණාත්මක කඩයිමක් වන උසස් පෙළ විභාගයට හොඳින් සූදානම් වීම සේ ම ඊට හොඳින් මුහුණ දීමට මානසික සෞඛ්‍ය අතිශය වැදගත් බව විශේෂඥ අදහසයි.

එවැනි පසුබිමක පසුගිය දා බලංගොඩ ප්‍රදේශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ නිවසට ඇයගේ පියා විසින් ගිනි තබන ලද සිදුවීමක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

ඉන් එම දැරියගේ පාසල් පොත් සහ ඇඳුම් විනාශ වී තිබුණු අතර සැකකාර පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ තවත් සිදුවීමක, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක හදිසියේ මිය යාමේ පුවතක් වාර්තා විය. කෙසේ වෙතත්, පොලිසිය ප්‍රකාශ කර තිබුණේ දැරියගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය වී නොමැති බව ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සමත් වීම පමණක් ප්‍රමාණවත් නොවන, සීමිත පිරිසකට පමණක් විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි වන ශ්‍රී ලංකාව වැනි රටක උසස් පෙළ විභාගය දැඩි තරගකාරී මෙන් ම දරුවන්ට දැඩි මානසික පීඩනයක් එල්ල කරන බව නොරහසකි.

වසර දෙකහමාරක සූදානම් වීමේ කාල සීමාව පමණක් නොව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ද යහපත් මානසික තත්ත්වයක පසුවීම විභාග ප්‍රතිඵලයට බලපාන බව විශේෂඥ අදහසයි.

මේ, විභාග සමයේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි දෑ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.