පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණයක් ඉදිරිපිටදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

බෝම්බකරු දිස්ත්‍රික් අධිකරණයට පහර දීමට උත්සහ කළ නමුත් ඔහුට ඒ තුළට පිවිසීමට නොහැකි වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි පැවසුවේ ය.

බෝම්බකරු කවුදැයි හඳුනා ගැනීමට සහ ඊට සම්බන්ධ සියලු පාර්ශව නීතිය හමුවට පැමිණවීමට නිලධාරීන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයි නක්වි පැවසීය.

“ඉන්දියාවේ නොමද සහය ලබන” අන්තවාදී කණ්ඩායම් ප්‍රහාරයට සම්බන්ධ බවට පකිස්ථාන අගමැති ෂබාස් ෂරීෆ් චෝදනා කළේ ය.

ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය “පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා” බව පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් ෂරීෆ් පැවසුවේ, “ඉන්දියාවේ අරමුණු වෙනුවෙන් කටයුතු කරන ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් නිරායුධ පකිස්ථාන වැසියන්ට එල්ල කරනු ලබන ප්‍රහාර හෙළා දැකිය යුතු” බව ය.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකු බීබීසීයට පැවසුවේ, පකිස්ථාන තාලිබාන් නායකයින් එම ප්‍රහාරයට තම සම්බන්ධයක් නොමැති බව පැවසූ බව ය.

මෑත වසරවලදී ඉස්ලාමාබාද්හි මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දුර්ලභ විය. අඟහරුවාදා (නොවැම්බර් 11) සිදුවූ පිපිරීමෙන් පසු නිකුත් වූ වීඩියෝවල දැවී ගිය මෝටර් රථයක් සහ පොලිසිය ජනතාව ප්‍රදේශයෙන් ඈත් කර තබන ආකාරය දක්නට ලැබිණි.